Written, Edit & Directed by Lakshan Walpita
DOP- Lakshan & Daminda
Executive Produce- Yohan Haputhanthiri
Sound Design - Tharindu Ramith.
පුංචි සුර කුමාරයා...
පුංචි සුර කුමාරයා... ඒක මහ නපුරු හීනයක්. ජීවිතේ හිස් කරපු මහා වෙන්වීමේ දුකක්. පුංචි කුමාරයා... අපි හැමෝටම ජීවිතය දුන්නා. අපි හැමෝම හිනාවෙලා හිටපු කාලයක්. එයා මුලින්ම ගෙදරට ආපු දවස මටත් රටක් රාජ්‍යයක් ලැබුණ දවසක්. ඒ ඇස් දෙක මම දැකපු ලස්සනම ඇස් දෙක. එයාට තිබුනෙ අපි කාටවත් නොතිබුන රත්තරං පාටක්. එයාගේ සුවද තාම දැනෙනවා. අවුරුද්දත් තිස්සේ එයා අපේ ජීවිත ලස්සනට පාට කලා. දවසින් දවස ටික ටික ලොකුවෙන කොට එයාව තවත් ලස්සන වුනා. ඒ දවස් ටික ගෙවිලා ගියේ හැමෝගෙම ඇඟට නොදැනි.එතකොට මම හිටියේ ඉස්කෝලේ හය වසරේ. මට ඹ්න වුනේ ඉස්කෝලේ යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න. එතකොට මට පුළුවන් හැමතිස්සෙම එයාව ඉඹින්න, තලතෙල් ගාලා නහය,කන්,අත පය අතගාන්න , ඊට පස්සෙ නාවලා සබන් ගාන්න අම්මට උදවු කරන්න. පිහදාලා ඹ්ඩිකොලොන් දාලා පවුඩර් මල ඇගේ තවරන කොට කිතිකැවිලා හිනාවෙනහැටි තාම මතකයි.ඊට පස්සේ ලස්සන ඇදුමක් අන්දවලා අම්මා කිරි දෙනවා. ඒත් එක්කම නින්ද යන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.සමහර වෙලාවට නිදිමත වෙලා අඩක කොට අම්මා මගේ කකුල් දෙක උඩින් කොට්ටයක් තියලා එයාව කොට්ටෙ උඩින් තියෙනවා.ඊට පස්සෙ එයාට නින්ද යනකන් මම කකුල් දෙක පද්දනවා. නින්ද යනකන්ම එයා දිගටම බලා ඉන්නෙ මගෙ ඇස් දෙක දිහා. ඒ ඇස් වල තිබුන බැදීම ආත්ම ගානක පුරුද්දක් විදිහට මට දැනුනෙ.
අපි හැමෝටම අවුරුද්දක් තිස්සෙ ජීවිතේ දීපු එයා දවසක් ගෙදර ආවෙ මුඵ ගමම අඬවගෙන.පුංචි අඩි තුනක පෙට්ටියක. පුංචි ඇගිලි ටික එකතු කරගෙන පපුව උඩින් තියාගෙන. පුංචි මහත්තයෙක් වගේ ඇඳගෙන. පුංචි බෝ එකකුත් දාලා. කවුරු මොනවා කිවුවත් මගෙ හිතේ තිබුනෙ ලොකු විශ්වාසයක්. තව පොඩ්ඩෙන් එයාගේ ලස්සන ඇස් දෙක ඇරලා හිනාවෙයි. මේ සුර කුමාරයව බලන්න දහස් ගනන් මිනිස්සු ආවා. අම්මටත් මොකක්ද වෙලා. හැමතිස්සෙම සිහිය නැති වෙනව.කිරිත් එරෙනවලු. හැමදේටම වඩා ඉවසන්න බැරි සිංහයෙක් වගේ මහා පෞර්ෂයක් තියෙන අපේ තාත්තා පොඩි ළමයෙක් වගේ අඬන එක. කවදාවත් තාත්ත අඬනවා දැකල නැති මම මේක කොහොම දරාගන්නද?
මගෙ චූටි මල්ලි තව ටිකකින් නැගිටියි. එතකොට මේ ඔක්කොම හරි...
අපේ පුංචි සුර කුමාරය නිදාගෙන හිටපු ඒ පුංචි පෙට්ටිය වහන්න මම පොඩ්ඩක් වත් ඉඩ දුන්නේ නෑ. එයා නැගිට්ටහම කොහොමද ඹ්ක ඇර ගන්නෙ?
මේ පුංචි කුමාරය එදා නැගිට්ටනම් අද එයා, එදා මම හිටපු වයසෙ පුංචි ඉලන්දාරි කොල්ලෙක්.එහෙනන්මේ වෙලාවේ ඉස්කෝලෙ ගිහින් යාලුවොත් එක්ක රන්ඩු කරගන්නව ඇති අයියගෙ හයිය අරගෙන.
තාමත් එයා හිටපු කාමරෙන් එන්නෙ එයාගෙ සුවඳ... දිව්‍යලෝකෙ ඉඳලා ඇවිත් අපිව සතුටු කරපු හොරු අරන් ගිය ඒ පුංචි සුර කුමාරයව මේ ආත්මෙදිම ආයිත් හුරතල් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තාමත් යටි හිතේ තියෙතවා.....
කාලකණ්ණි දවසක්!!
එය සුනාමි සහන ගම්මානයකි.ලැබී තිබූ ලිපිනය සොයා ගනීමට අපට සැහෙන අපහසු විය.අවසානයේ අදාල නිවස සොයා ගන්නා විට කාරණය ගම්මානයෙන් සෑහෙන ප්‍රමාණයකට වැටහෙන්නට ඇත.උණ බට පතුරු යොදා සකස් කරන ලද කුඩා ගේට්ටුවකින් අපි නිවසට ඇතුලු වූයෙමු. අවුරුද්දක පමණ වයසැති කුඩා ගැහැණු දරුවකු හෙලුවැල්ලෙන් ඉස්තෝප්පුව මත හිස් සූප්පුවක් උරමින් සිටියි.සූප්පුවේ කෙලවරෙහි සිදුරකින් නූලක් දමා එය බෙල්ල වටෙහි ගැට ගසා තිබුණි.අපේ කණ්ඩායමේ පස් දෙනෙකි.කෙනෙක් රියදුරාය. ප්‍රධානියා විදුලි අධිකාරිවරයාය.අනෙකා කාර්මික ශිල්පියා නවුෆර් ය.ඔහු මුස්ලිම් ජාතිකයෙකි.මමත් මගේ මිත්‍රයාත් රාජකාරියට පිටස්තරයෝය.රාජකාරිය අපට කිසිසේත් අදාල නොවුනි.කම්මැලි කමත් වෑන් රථයේ ඉඩ තිබුණු නිසාත් ඔවුන් සමග එක් වුනෙමු.
නවුෆර් ගේ කෑ ගැසීමෙන් ගෙතුලින් කාන්තාවක් මතුවිය.ඇය දරුවාගේ මව විය යුතුය.වයස හතලිහක් පමණ වෙන්නට ඇත.ඈ ඇද සිටියේ කඩමලු වූ රාත්‍රී ඇදුමකි.ඒ නිසාදෝ අපව දුටු විටම ඈ සෑහෙන අපහසුතාවයකට පත් වූ බව මා හට හැගුනි.
"කරන්ට් බිල ගෙවුවද?" විදුලි අධිකාරි වරයා ඇසුවේය.
ඈ කලබල නොවූවාය. සියල්ල ඇයට වැටහී තිබුණි.ඇගේ මුහුණේ වූයේ අසරණ වූ හැගීමකින් යුක්ත වූ සිහින් සිනහවකි.එක්වරම ඈ ආපසු ගෙතුලට ගියාය. මාස නවයකින් බිල ගෙවා නොතිබුනි.එහෙත් මුදල වූයේ රුපියල් දෙදහසකට ආසන්න අගයකි.
ඇය මීලගට මතු වූයේ රෝගියකු සහිත අබලන් වූ රෝද පුටුවක් තල්ලු කරගෙනය.ඒ ඇගේ ස්වාමි පුර්ෂයා විය යුතුය.ඔහු අංශභාග රෝගියකු සේ විය. මෙවර ඇගේ සිහින් සිනහව වෙනුවට දෑසේ කදුළු පිරී තිබුණි.
"මහත්තයා මෙයත් වැඩ කලේ විදුලි බල මණ්ඩලයේ, ගාල්ලෙ. රෙපෙයාර් එකක් කරන්න ගිහින් කරන්ට් වැදිලා පැත්තක් පණ නැති උණා.මණ්ඩලෙන් කිසිම වන්දියක් ලැබුනෙ නැහැ. කරන්ට් එක තියාගෙන වැඩ කරන්න එපා කියලලු එයලා කියන්නෙ.ඒ දවස් වල අපි හිටියේ සුනාමි කෑම්ප් එකක. ලොකු ලමයි දෙන්නවම සුනාමියට ගියා.පස්සෙ මෙහෙ ගෙවල් දුන්නට පස්සෙ කෑවෙ බිව්වෙත් සෑහෙන අමාරුවෙන් මහත්තයො."
ඒ වන විට රෝගියාගේ හිස උරහිස මතට කඩා වැටී පපුව දිගේ සෙම බේරෙමින් තිබුනි.
"එයාට හොදට සිහිය තියනවා.ඒත් කතා කරන්න බැහැ."
මේ වන විට අසල් වාසීන් විස්සක් පමණ නිවස අසලටම විත් මේ සිද්දිය දෙස බලා සිටියි. තත්වය කෙසේ වුවද තව මොහොතකින් ඔවුන්ට විදුලිය අහිමි වන බව මා හොදින්ම දනියි.විදුලි අධිකාරිවරයාද අපහසුතාවයකට පත් වූ බව පෙනුනි.නමුත් ඔහුට තම රාජකාරිය කිරීමට සිදුවෙයි.ඔහු තමන් සිටිනා තත්වය ඈ ට පැහැදිලි කර දෙන විට ඈ උදාසීනව ඔහේ බලා සිටියාය.දෑසේ තිබුනේ අසරණ කමත් බැගෑපත් කමත්ය.
නවුෆර් ඔහුගේ කාර්යය ආරම්භ කලේය.ඔහු මීටරයට ලංවී එහි ආරක්ෂක පෙට්ටිය ඉවත් කරනවාත් සමගම එහි තිබූ කනෙයියා වදයක මැස්සන් සී සී කඩ පියාඹන්නට විය.මාත් ,මිත්‍රයාත් , අධිකරිවරයාත් නැවතුනේ වෑන් රිය තුලය.නවුෆර්ට නම් එය හුරු පුරුදු දෙයක් විය. ඔහු දිගටම තම කාර්යයෙහි නිරත වුනි.එක් වරම කදුළු පිරි දෙනෙතින්,හැඩුම් සිරකරගනිමින් සිටි ඒ කාන්තාව මිදුලෙහි වූ ක්‍රෝටන් ගසකින් අත්තක් කඩාගෙන නවුෆර් ට බාධා කරන කනෙයියා මැස්සන් පලවා හරින්නට විය.නවුෆර් විදුලිය විසන්ධි කර තම කාර්යය අවසන් කරන තුරුම ඈ මැස්සන් පලවා හරින්නට විය. ඈ කෙතරම් නම් ශ්‍රේෂ්ඨ කාන්තාවක් ද?
*******
කුඩා දියණිය තවමත් සූප්පුව උරමින් සිටී. ඈ හුලං වලින් බඩ පුරවාගෙන නොඅඩා සිටියි.ඇය අද රාත්‍රියේ කළුවරට බියවී නොහඩනු ඇත. ඇඩුවත්, ඇගේ මව විසින් ඇයව කළු ගගට නොදමනවා ඇත.
*******
Subscribe to:
Posts (Atom)









